මඩුවන්වෙල වලව්ව - Maduwanwela Walawwa

 


සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇඹිලිපිටිය සුරියකන්ද මහා මාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත. වලව්ව පිහිටි ඉඩම අක්කර 20 ක පමණ විශාල භූමි භාගයකි. නොයෙක් වටිනා තුරුලතාවලින් පිරි අලංකෘත උද්‍යානය වලව්ව අවට සුන්දරත්වය ඉස්මතු කරයි. පවුරු තුනකින් අලංකාර වු මඩුවන්වෙල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා ඇත. එහි ඇතුළුවන දොරටුව "ගල් උළුවස්ස" නම්වේ. දොරටුව දෙපස මනරම් ලියවැල්ද ඒ මත මකර තොරණක හැඩයට ගල් ආරුක්කුවක්ද දක්නට ලැබේ. තොරණ දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකක් ඇත. පෙර කළ ඒ අසල පුන් කලස් තුනක්ද තිබු බව කියවේ. වලව්වේ මැද කොටසට සම්බන්ධ වන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබේ. ඇතුළු පවුර "පහන්පවුර "නම් වන අතර එහි අලංකාර පහන් කුටි රුසක් ඇත. එමෙන්ම වලව්වට ජල පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි නෂ්ටාවශේෂද, වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හික් ගස්ද වලව්වේ ජීවත් වු මහා රදළවරයාගේ පෞරුෂත්වය නොසඟවා හෙළි කරන්නේ අභිමානයෙනි.




කුළු හරකුන් බහුලව සිටි වෙල යන අර්ථයෙන් මෙම ප්‍රදේශය මඩුවන්වෙල ලෙස නම්ව ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. වන විමලධර්මසූරිය රජු දවස මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ඉදිකර ඇති මෙහි නුවර යුගයේ පසුකාලීන ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණවලින් යුතු අතර ක්‍රි: ව: 1700දී පමණ මෙහි ආරම්භය ලෙස දැක්විය හැක. පසුව 1725 දී මඩුවන්වෙල විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ විසින් සිංහල උළු සෙවිලිකර මෙය ස්ථීර ගොඩනැගිල්ලක් බවට පත්කර ඇත. යුගයෙන් යුගයට වෙනස් වෙමින් පැවති මෙය 1877 දී පමණ මඩුවන්වෙල මහ දිසාවගේ (වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අබේකෝන් මුදියන්සේ රළහාමිල්ලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහ දිසාව) අතට පත්වීමෙන් පසු මෙම වලව්ව කාමර 121ක් මැද මිදුල් 21ක් ආරක්ෂක පවුරු 3ත් සහිත අධිකරණ ශාලාවක් බෝධි ප්‍රාකාරයක් සහිත සුවිසල් වලව්වක් බවට පත්කර ඇත. බිමට බ්‍රිතාන්‍ය මහ රැජිනගේ රුව රැගත් පිඟන් ගඩොල් කැබලි මගින් අලංකාරකර ඇත. විශිෂ්ට ගෘහනිර්මාණ ශිල්පයක ලක්ෂණ පෙන්නුම් කරන මෙහි වර්තමානයේ දක්නට ඇත්තේ කාමර 42ක් හා මැද මිදුල් 7ක් පමණි.







මඩුවන්වෙල වලව්ව ඉදිකර ඇත්තේ නූතන වාස්තු විද්‍යාත්මක න්‍යායන්ට ද අනුකූල වන පරිද්දෙනි. වරිච්චි බිත්ති හා ශක්තිමත් අත්තිවාරම නිසා මේ මන්දිරය කිසිදු උපද්‍රවයකින් තොරව ආරක්ෂා වී ඇති අතර, වහලයේ බර සම්පුර්ණයෙන් ම බිත්ති මතට නොඑන ලෙසින් ගොඩනැඟිල්ල වටා ශක්තිමත් ලී රාමුවක් ද සාදා ඇත. මැද මිදුල් නිසා ගෙතුළට මනාව ආලෝකය ලැබෙන අතර අධිකරණ ශාලාව හැර අනෙකුත් සියලුම ගොඩනැඟිලි ඉදිකොට ඇත්තේ පොළොව මට්ටමේ සිට එසවූ පාදමක් මත යි. ගෙබිමේ රැස්වන වර්ෂා ජලය ගලා යාම සඳහා විධිමත් කාණු පද්ධතියක් ද සකසා තිබේ. එම ජලය ඈතට ගලා යාම සඳහා ආවරණය කරන ලද කානු පද්ධතියක් ද වේ.



අවධි කිහිපයක දී මේ වලව්ව ප්‍රතිසංස්කරණ කර තිබේ. මඩුවන්වෙල දිසාවේගේ මරණයෙන් පසු මේ බුදලය උරුමක්කාරයා වූයේ, දිසාවේගේ සොහොයුරකුගේ පුත්‍රයා වු, ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කථානායක වූ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහත්තයාටයි අනතුරුව එතුමාගේ මරණින් පසු, ඔහුගේ දියණිය සීතා මොලමුරේ මැතිනියට මෙය හිමි විය.  එහෙත් 1964 වසරේදී මඩුවන්වෙල වලව්ව හා එයට අයත් නින්ද ගම් රජයට පවරා ගන්නා ලදී. පසුව 1972 වසරේදී මඩුවන්වෙල වලව්ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලදී. මේ වනවිට මෙරට ශේෂව ඇති වලව් අතරින් වැඩි ම ජනතා ආකර්ෂණය ලද මෙන් ම, ඕනෑම කෙනකුට නැරැඹිය හැකි වලව්වක් ලෙස ද මෙය හැඳින්විය හැකියි.




Post a Comment

0 Comments

Follow Us