ශ්‍රී ලංකාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය - Solid Waste Management in Sri Lanka

ලෝක සංචාරක ප්‍රජාවගේ පිලිගැනීමට අනුව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති සුන්දරත්වයෙන් පිරිපුන් දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකිය.ගංගා,ඇළ දොළ,සුන්දර වෘක්ශලතාදියෙන් පිරි පාරාදීසයක් බදු ශ්‍රී ලංකාව සුන්දර වෙරළ තීරයකටද හිමිකම් කියයි.නමුත් වර්තමානය වන විට මෙම සුන්දරත්වයට කැළිකසළ විශාල බාධාවක් වී තිබේ


.

ශ්‍රී ලංකාවේ පවත්නා අනෙකුත් සමාජ හා ආර්ථික ගැටලුවලට  සාපේෂව ඉදිරියට යන නිහඬ නමුත් වර්ධනය වන ගැටලුවක්‌ ලෙස ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ව ගැටලු ව පෙන්වාදිය හැකිය.මිනිසුන්ගේ පරිභෝජන රටාවේ සිදුවීගෙන යන කෘතිම වෙනස්‌කම්ද හේතුවෙන් අධික ලෙස උත්පාදනය වන ඝන අපද්‍රව්‍ය නිසියාකාරයෙන් කළමනාකරණය නොවීම මෙම ඛේදනීය තත්ත්වයට  ප්‍රධාන හේතුව ලෙස දැකිය හැකිය.



මෙහිදී වඩාත් සැලකිය යුතු කරුණක්‌ වන්නේ මෙය හුදෙකලා ගැටලුවක්‌ නොව සමාජ ආර්ථික පාරිසරික සෞඛ්‍ය ආදී ලෙස ගැටලු හා අභියෝග රැසකට මුල්වන ගැටලුවක්‌ වීමයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මෙම ගැටලු ව හුදෙක්‌ පාරිසරික හා සෞඛ්‍ය ගැටලුවලට පමණක්‌ සීමා නොවී ප්‍රබල සමාජ ගැටලුවක්‌ බවටද අද වනවිට පත්ව තිබේ. කුණු සම්බන්ධයෙන් ලාංකික අප කටයුතු කරන්නේ නිවෙස් වල එකතුවන කුණු නිවසෙන් එපිට ස්ථානයකට ගෙනගොස් දැමීමයි.. අපටත් වඩා ජනගහනය අධික රටවල් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඉතාමත් සාර්ථකව සිදුකරමින් පවතී.


ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය අවසානයට බැහැර කරලීම පිළිබඳ සලකා බැලීමේදී එය බොහෝ ගැටලුවලට හේතු වන බව බොහෝ අධ්‍යයන වලින් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අවසාන කසල බැහැර කරන ස්‌ථාන වැඩි ප්‍රමාණයක්‌ විවෘත කසල බිම්ය. බොහෝ විට මෙම ස්‌ථාන ගං ඉවුරු දියපහරවලට හෝ කුඹුරු වගාවන්ට ආසන්න වීමත්, සමහර ස්‌ථාන මිනිස්‌ වාසස්‌ථානවලට ආසන්න වීමත් නිසා පරිසරයට දැඩි හානිකර තත්ත්වයක් උද්ගත වී ඇත. කෙසේ වුවද තවමත් ශ්‍රී ලංකාවේ එකතු කරන කසලවලින් 85%% විවෘත ස්‌ථානවලට මුදාහරින බව කිව යුතුය. 



 ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් සිදු කරන්නේ මෙම ඉවතලන අපද්‍රව්‍ය සනීපරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමයි. මෙහිදී සිදුවන්නේ යම් පිටියක කුණු විවෘත ව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුළින් විෂවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වලක්වා ගත හැකිය. නමුත් එය අපේ රටට සෑහීමකට පත්විය හැකි විසඳුමක් නොවේ. එම ක්‍රියාවලිය සිදු කරන අතරතුර ම කෙසේ හෝ මෙම ප්‍රශ්නයට කඩිනමින් දිගුකාලීන විසඳුමක් සොයාගත යුතුමය.



එදිනෙදා අප නිවෙස් වලින් බැහැර කරන ද්‍රව්‍ය අතරින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් අයත්වන්නේ දිරාපත් වන ද්‍රව්‍ය යටතටය.එම ද්‍රව්‍ය යොදාගනිමින්  ජීව වායුව හා කොම්පෝස්ට්පොහොර සාදාගත හැක. මින් ජීව වායුව බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස දැක්විය හැකිය.




පරිසරය තුළ එකතුවන අපද්‍රව්‍ය ද විවිධාකාරය. එහෙත් මිනිසාට වැඩිපුරම හානියක් කරන්නේ නොදිරන අපද්‍රව්‍යයයි. එසේ වුවත් දිරායන අපද්‍රව්‍ය වුවද මහා පරිමාණයෙන් පරිසරයට එකතු වීම සුළුකොට තැකිය හැකි ගැටලුවක්ද නොවේ.

 මේ සඳහා වැදගත්ම පදනමක් වනුයේ 3R එළඹුමයි. මෙහි අදහස වනුයේ අපද්‍රව්‍ය අඩු කිරීම ප්‍රතිචක්‍රීකරණය සහ නැවත පාවිච්චියයි. මෙය කස උත්පාදනය අංශය මෙන් කස දාමයද ආවරණය කළ හැකි ඉතා වැදගත් ක්‍රියාදාමයකි. මෙම ක්‍රියාවලියේදී කසල වෙන් කිරීම වැදගත් වේ. මෙහිදී විවිධාකාරයෙන් සිය කස වෙන් කර ගැනීමට ප්‍රජාවට අවස්ථාව ලැබේ. දිරන හා නොදිරන ලෙස කස වෙන්කිරීම මින් පහසුම ක්‍රමයයි.



කසළ කලමණාකරනයේ වඩාත්ම පිලිගත් ක්‍රමවේදය වන්නේ කසළ ජනනය අඩු කිරීමයි.කල් පවතියන ප්‍රමිතියෙන් ඉහල භාණ්ඩ භාවිතා කිරීමෙන් කසළ ජනනය යම්තාක් දුරකට හෝ අවම කරගත හැකිවේ.

වීදුරු,ලෝහ,ප්ලාස්ටික් හා කඩදාසි වැනි ද්‍රවය ප්‍රතිචක්‍රීකරනණය කල හැකිය.



කසල අවම කිරීම සඳහා ප්ලාස්ටික් භාජන හා පොලීතීන් එක්වරක් භාවිතයෙන් ඉවත නොදමා නැවත නැවතත් පාවිච්චියට ගැනීම ඉතා සාර්ථක ක්‍රමයකි. නැවත පාවිච්චි කළ හැකි බෝතල්, නැවත පිරවුම් කළ හැකි භාජන හැකිතාක්‌ පාවිච්චි කිරීමටද හුරුවීමද මෙහිදී වැදගත්ය. මෙය මුදල් ඉතීරි කරගත හැකි ඉතා අරපිරිමැසුම්දායක ක්‍රමයකි.





කෙසේ වෙතත් කැළි කසළ නිසි අයුරින් බැහැර කරමින් සුන්දරත්වයෙන් අනූන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම අපගේ වගකීමකි.



ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වලදී  කුණු කසළ ප්‍රශ්ණය කළමනාකරණය පිළිබඳ ව විශේෂ අවධානයක් යොමුවිය යුතු අතර ජාතික මට්‌ටමින් ඒ සඳහා කළමනාකරණ සැලසුම් සකස්‌ කිරීමද ප්‍රමුඛ විය යුතුය.

Post a Comment

0 Comments

Follow Us